‘බෑ ඇයි?‘
නොසන්සුන් උත්තරය මගෙනි.
‘පරණ ටොෆී කොල තියාගෙන හිටියා කියලා ඒවට කවුරුත් තෑගි දෙන්නේ නෑ නේද?‘
පෙරටත් වඩා සංසුන් ප‍්‍රශ්නය ඇගෙනි.
‘නෑ. නෑ ඇයි මේ?‘
පෙරටත් වඩා නොසන්සුන් විමසුම මගෙනි.
‘පරණ ටොෆි කොල, පරණ බස් ටිකට්, පරණ කෝච්චි ටිකට්, පිරිත් නූල්, පුස්
බැඳුනු මල් පෙති ඒ විතරක් නෙවේ කර වෙච්ච වෙරළු ගෙඩි පවා තියෙන ඔයාගේ
පෙට්ටියක් හම්බ වුණා. ඒකේ කූඹි පිරිලා. මොකද කරන්නේ. තියන්නද? වීසි
කරන්නද?‘
මම නොදැනෙන්නට හිස් හුස්මක් පිට කළෙමි. තාවකාලික නවාතැනක් තනනු පිණිස ගොඩව,
ඉක්මනින් මා කියවා හමාරව, නොනිමෙන අඟුරු කැට කිහිපයක් පපුවේ අහුමුලූ වල
ඉතිරි කොට, නික්ම ගිය පැරණි පේ‍්‍රමයක ‘නටඹුන් මතක‘ ඈට හමු වී ඇත.
අතිශය සංසුන් ලීලාවෙන් ඈ අසන්නී ඊට කුමක් කරන්නේදැයි කියාය.
‘වීසි කරන්න... එක්කෝ ගිනි තියන්න. ඕක මගෙන් අහන්න ඕනද?‘
මම උත්තර දුන්නේ සභාවක් මැද විලිවසා ගන්නට වෑයම් කරන්නෙකු සේය. ජීවිතයේ
ඇතැම් අවස්ථාවලදී හිටි අඩියේ දෙන උත්තර හිතට එකඟ ඒවා නොවේ. නමුත් ඒවා නොදී
බැරිය.
‘ඔන්න එහෙනම් මම ඒකට ගිනි තියනවා‘
ඈ තින්දුව ප‍්‍රකාශ කළාය. ඈ ගිනි තැබූ මතක පෙට්ටිය නිල්, දුඹුරු, කලු දුම් සමඟ අළු වෙන්නට ඇත.
‘ආදරේ යනු යන්ට දීමය...
ආයේ ආවොත් ඉන්ට දීමය...‘
යනුවෙන් රසිකා ගුණවර්ධන ලියූ ‘හුස්ම ගන්න වචන‘ ටිකක් මට සිහිපත් විණි.
මන්දාරම් අහස හඬන්නට පටන් ගත්තේය. ඈ ‘මතක පෙට්ටිය‘ට භෞතිකව ගිනි තබා
වසරකට පමණ අවෑමෙන් වරක් වෙනත් කටයුත්තකට අල්මාරිය අරිද්දී මම විමතියට පත්
වීමී. ඈ එය ගිනි තබා අළු කොට තිබුණේ නැත.ඒ වෙනුවට ඕ එය පරිස්සමට තබා
තිබිණි.
‘එයා ගියාට ඒවා ඔයාගේ මතකනේ‘
ඉතින් එහෙම කියන ඈ පුදුම ගැහැනියකි.
වසර කිහිපයකට පෙරාතුව එක්තරා මන්දාරම් හැන්දෑවක හුදකලාවේ නැරඹු 'සමනල සංධවනියේ' කෙලවර එන සටහනක් සිහිපත් වෙයි.
"සමහර දේවල් අමතක කරන්න ගිහින් වැදගත්ම දේත් මට අමතක වෙලා. තවත් අයට
දෙන්න ආදරය ඉතුරු කරගන්න ඕන කියල මට අමතක වෙලා.එක්තරා දවසක මම ආදරයත්, ආදරය
මාවත් මරාගෙන මැරුණා."
කෙතරම් නම් සත්‍යයක් ද?
ජීවිත ගෙවෙන්නේ අසීමාන්තික හඹා යෑම් සහ ලුහුබැඳීම් සමඟය. සම්පූර්ණ දේ පවා
අසම්පූර්ණ සේ දැනීමත් එකී අසම්පූර්ණය පූරණය උදෙසා යත්න දැරීමත් ජීවිතයේ
ලලාසාවය.
ප‍්‍රබන්ධගත කතාවක කෙටි සටහන මෙසේ තබමි.
‘එක්තරා අවදියක ගැහැනියත් පිරිමියාත් උන්නේ එකම ශරීරයේ එකටම ය. එකිනෙකාට
පිටුපා දෙපස බලාගෙන එකම සිරුරක සිටි මේ ‘අමුතු සත්වයා‘ සියල්ල එකටම සිදු
කර ගත්තේය. අවාසනාවට තමන්ගේ අනෙකා කිසිදාක දැක ගන්නට ඔවුන්ට හැකි
වාතාවරණයක් තිබුණේ නැත. දෙවියන් දවසක් පුදුමාකාර තීන්දුවක් ගත්තේය. එක්තරා
දිගු රාත‍්‍රියක සියල්ලෝම එකතැනකට කැඳ වූ දෙවියන් අන්ධකාරයේ නිදා ගන්නට
ඔවුනට අණ කළහ. එළිවෙන කොට සිදුව තිබුණේ අරුමයකි. එකට සිටි සිරුරු වෙන්වී
තිබිණි. චිරාත් කාලයක් තමාගේ අනෙක් කොටස සේ සිටි ‘අනෙක් අඩ‘ ඔවුන්ගෙන්
අහිමි වී තිබිණි. සියල්ලෝම විලාප තබා හඬමින් තමාගේ ‘අනෙක් අඩ‘ සොයමින් මහා
ජන සමූහයා පීරන්නට වූහ. කාලය දින සති මාස වසර සියවස් ආදී ලෙස ගෙවී ගියේය.
තාමත් අපි අපේ අනෙකා සොයා යාම අත්හැර නැත. එදා සිටි අනෙකා අද හමු වන්නේද
නැත. අඩුවැඩි වශයෙන් සමීප කම් අතරේ හමුවෙන කිසිවෙක් අනෙක් අඩ වන්නේ ද නැත.
එහෙත් සොයන එකේ කෙලවරක්ද නැත.'
සිය ගානක් වූ චිත‍්‍රපට එකතුවේ හදවතේ ‘අපූරු කහට පැල්ලම්‘ ඉතිරි කරන ‘ඔපූ සංසාර්‘
සිනමා වියමන නැවත සිහිපත් වේ. අපේක්ෂා නොකළ සිදුවීම් දෙකක් හේතුවෙන්
ජීවිතය සහමුලින් වෙනස් කර ගන්නා මිනිසෙකුගේ කතාව එහි වෙයි. ඔපූ ලේඛකයෙක්
වන්නට පෙරුම් පුරන්නෙක්. එහෙත් කඩා වැටුණු ආර්ථික වටපිටාවක එක අතක සිහිනයත්
අනෙක් අතේ ජීවිතයත් රැහෙන ‘රස්තියාදු‘ ගසන්නෙක්. පුලූ ඔහුගේ මිතුරා. පුලූගේ ඥාති සොයුරියගේ විවාහ උත්සවය සඳහා ඔපූට ආරාධනාව ලැබෙන්නේ ඒ හිතමිතුරුකම හේතුවෙන්.
ඈත කොලපාට ගම්මානයක පැවැති විවාහ මංගල්‍යය ඔපූගේ ජීවිතය තීරණාත්මක වෙනසකට
ලක් කරන අයුරු අපූරුය. පූලූගේ ඥාති සොයුරිය විවාහ කර ගන්නට එන මනාලයාට
මානසික රෝගයක්. පෝරුව මත විකාර නටන ඔහු නිසා මුලු මංගල්‍යම චේදවාචකයක්.
නියමිත වෙලාවට විවාහය නොවුණොත් මනාලියගේ ජීවිතය ශාපයකට.
‘ඔපූට බැරිද අපර්ණා නංගිව බඳින්න?‘
යෝජනාව මිතුරාගෙන් ඔපූ ට. විමතියටත්, කෝපයටත් පත් වන ඔපූ අප‍්‍රමාණ
කැළඹීමකට පත් වෙයි. එහෙත් අන්තිමට මින් පෙර කිසිදාක නොදැක සිටි යුවතිය
විවාහ කරගන්නට තීන්දු කරන ඔපූ, ඔප්පු කරන්නේ ජීවිතයේ කොයි මොහොතක හෝ ‘පේ‍්‍රමණිය ඇක්සිඩන්ට්‘
සිදුවිය හැකි බවයි. කල්කටාවේ කුලී කාමරයේදී ඔහු ඈට මුල් වරට කතා කරන්නේ ඈ
හා කතා බහ ආරම්භ කරන අතර සියුම් පේ‍්‍රමයේ ලදලූ ඇස් අරින්නට පටන් ගන්නේ ඒ
ලා දුඹුරු පාට රාත‍්‍රියේදීයි. අනුරාගී හැඟීමකින් තොරව අතිශය සංයමයකින් ඒ
තීරණාත්මක සෙනෙහස තිරයේ චිත‍්‍රනය වෙන හැටි!
අපර්ණා ගැබ් ගැනීම නිසා ඇයට තම දෙමාපියන් වෙත යෑමට සිදු වන අතර ඔහුට
ලිපිකරුවකු ලෙස රැකියාවක් ලැබීම නිසා කල්කටා නගරයේ නතර වන්නට සිදු වෙයි.
ආදරය පටන් ගනිද්දීම දෙදෙනා දෙපසක ය. දෙදනා අතර හුවමාරු වන ලිපි හරහා එකී
පේ‍්‍රමය අතු ඉති ලා වැඩන අතර මේ හැඟීම් දෙදෙනාටම ‘සොඳුරු ආශ්වාදයක්‘ ගෙනේ.
නිතර නොදුටුවද දෙදෙනා දැන් පේ‍්‍රමයෙන් ආතුරව ගොසිනි.
හිටි ගමන් ඔපූට මිතුරාගෙන් පණිවිඩයක් ලැබේ.
‘දරු ප‍්‍රසූතියේදී අපර්ණා මැරුණා‘
ඇතැමුන් සිතන්නේ කතාව එතැනින් හමාර බවයි. නමුත් පපු කුහර රිදුම් දෙන, ආත්මය
සොලවා දමන කතාව පටන් ගන්නේ එතැන් සිටයි. ජීවිතයේ වටිනාම සන්තකය අහිමි වූ
කල ජීවිතය ද හමාරයැයි යමෙක් සිතන්නේ නම් ඊට වඩා මගහැර යා නොහැකි බැඳීම් අප
වටා ඇති බව එතැන් සිට ඔප්පු වෙන්නට පටන් ගනී. අපර්ණා බිහි කළ දරුවා එකී
බැඳීමෙහි නොබිදෙන පුරුක වෙයි. මානව බැඳීම් මොනතරම් අහඹුද? එසේම ශක්තිමත්ද
යන්න සත්‍යජිත් රායි ‘ඔපූ සංසාර්‘ තුළින් ආත්මගත කරන අයුරු අරුම ය.
No comments:
Post a Comment